දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Sunday, May 25, 2014

මාදං [Madan] (Syzygium Cumini)

මාදං ඉහලට මීටර් 26 ක් දක්වා ද වට ප්‍රමාණය මීටර් 3 ක් දක්වා ද වර්ධනය වන විශාල ප්‍රමාණයේ දේශීය ශාකයකි. වියළි කලාපයේ සුලභව හුමුවේ. විශේෂයෙන් දිය පහරවල් හා වැව් ඉවුරු ආශ්‍රිතව දැකගත හැකිය. මාදං වැව් ඉවුරුවල වැවීමට යෝග්‍ය ශාකයක් බව ඉපැරණි පිළිගැනීමකි. කඳෙහි මතුපිට පොත්ත ළා කහ - දුඹුරු විය හැකිය. ඇතුලත පොත්ත ඝණකම් වන අතර තන්තුමය වේ. පත්‍ර තලය කහ කොළ පැහැතිය. ඉලිප්සාකාර සිට අණ්ඩාකාර ලන්සාකාර වේ. බහු අක්ෂ පුෂ්පමංජරියක හට ගන්නා මල් සුදු පැහැතිය. කොළ පැහැති ඵලය හොඳින් ඉදුණුවිට දම් පැහැයක් ගනී. ඉදුණු ගෙඩි කුඩා දරුවන් ප්‍රිය කරන රසැති ගුණැති පළතුරකි. දැවමය වටිනාකම අතින් ඉහල මාදං ශාකය Myrtaceae කුලයට අයත් ය.


දියවැඩියාව, අතීසාරය, රත්පිත්, රක්ත ප්‍රදර, වණ, පණු රෝග, ක්ෂය රෝගය, වමනය, කැපුම් සීරීම්, මුඛ රොග, දන්ත රෝග, ඇස් රෝග, පිලිස්සීම් වැනි රෝග අවස්ථා ගණනාවක් සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ශාකයේ කොළ, දළු, පොතු, ගෙඩි, ඇට ආදිය යොදා තැනූ ඖෂධ භාවිතා කරයි.

දියවැඩියාවට මාදං ඇට චූර්ණය සහ මාදං ඇට වියළා රන්වන් පැහැ වන තුරු කබලේ බැද කුඩු කර කෝපි මෙන් පානය කිරීම ගුණදායකය. එයටම මාදං පානය සහ පොතු කෂාය යෙදිය හැකිය. මාදං පොතු තම්බා ගත් කෂායෙන් කට සේදීමෙන් මුඛ රෝග රැසක් සුව වෙයි. පිළිස්සුම් තුවාලවලට පොතු පුලුස්සාගත් අළු තල තෙල් සමඟ මිශ්‍රකර ආලේප කරයි. මෙම පොතු තැම්බූ වතු තුවාල සේදීමට භාවිතා කරයි. මාදං දලු යුෂ ආලේප කිරීමෙන් කැපුම් සීරුම් තුවාල ඉක්මනින් සුව වෙයි. කොළ දලු යුෂ මී පැණියෙන් දීමෙන් වමනය නවතී. මාදං පොතු දන්තාලේප නිපදවීමට යොදා ගනී. මෙම කොළවලින් නිස්සාරණය කර ගන්නා සුගන්ධ තෙල් රසකාරයක් ලෙස භාවිතා කරයි. මාදං ආහාර රුචිය ඇති කරවන, කුසගිනි වඩවන, අක්මාව උත්තේජනය කරන ආදී ගුණ සහිතයි.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු කෘති 

Share:

0 comments:

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support