දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Wednesday, June 25, 2014

එඬරු [Edaru] (Ricinus communis)

තෙල් එඬරු සහ බෙහෙත් එඬරු යනුවෙන්ද හඳුන්වන එඬරු මීටර් 3.5 ක් පමණ උසට වැඩෙන වාර්ෂික හෝ බහු වාර්ෂික ශාකයකි. ඇතැම් විට බෙහෙවින් අතු බෙදෙමින් පඳුරක් අකාරයට වර්ධනය වේ. මැද සිදුරක් සහිත දුර්වල කඳෙහි ළපටි කොටස් අළු පැහැතිය. දිගු නටුවක් සහිත සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. ඇඟිලි ආකාරයෙන් බෙදී ඇති පත්‍රයේ දාරය දැති වැනි කඩතොළු සහිතයි. එ්කාක්ෂ පුෂ්ප මංජරියක හට ගන්නා මල් ළා කහ පැහැතිය. ඵලය තුනට බෙදුනු ස්ඵෝඨිකාවකි. ඵලාවරණයේ කටු වැනි ව්‍යුහ දක්නට ලැබේ. ඵලයක් තුල දිලිසෙන සුලු බීජ තුනක් පිහිටයි. වෙදකමට සම්බන්ධ මූලාශ්‍රවල තෙල් එඬරු ශාකයේ ප්‍රභේද කිහිපයක් ගැන සඳහන් වේ. සුලබව හමුවන වර්ගය සුදු එඬරු ලෙසත් එහිම මහ එඬරු සහ හීං එඬරු ලෙස උප ප්‍රභේද දෙකක් ඇති බවත් දක්වා ඇත. හීං එඬරු ශාකයේ තෙල් හා මුල් ඔසු පිණිස ගන්නා බව සඳහන් කර ඇත. මෙයට අමතරව පත්‍ර, කඳ සහ ගෙඩි රතු පැහැයට හුරු ප්‍රභේදයක් ඇති අතර එය රත් එඬරු යනුවෙන් හඳුන්වයි. මහ එඬරු සහ රත් එඬරු ශාකවල සියළු කොටස් ඔසු පිණිස භාවිතා කරයි. එඬරු ශාක ඇතැම් මූලාශ්‍රවල එරඬු නමින්ද හඳුන්වා ඇත.

තෙල් එඬරු ශාකයට අමතරව Jatropha උද්භිද ගණයට අයත් එඬරු නාමය සහිත ශාක විශේෂ කීපයක්ද මෙරටින් හමුවෙයි. ඒ අතර මයුරපාද එඬරු (Jatropha multifida), හීං එඬරු (Jatropha gossypiifolia) සහ වැට එඬරු (Jatropha curcas) නම් විශේෂ තුනක් වෙයි. හීං එඬරු සහ මයුරපාද එඬරු ශාකවල දේශීය භාවිතාවක් ගැන ප්‍රකට තොරතුරු හමු නොවන අතර වැට එඬරු ගැන වෙනම ලිපියක් පල කිරීමට අදහස් කර ඇත. එඬරු වර්ග Euphorbiaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයන්ය. 

වාත රෝග, වාතරක්ත, ඉදිමුම්, ගුල්ම රෝග, කැස්ස, ඇදුම, පණු රෝග, අර්ශස්. පාන්ඩු රෝග, කරකැවිල්ල, ආහාර අරුචිය, ආමවාත, කාන්තාවන්ගේ ගර්භාශ සහ ඔසප් රෝග, මුත්‍ර අඩස්සිය, අක්මා සහ ප්ලීහා රෝග, අණ්ඩ වෘද්ධිය, කටීශූල, ගෘධ්‍රසි, කුෂ්ඨ රෝග ආදියට ප්‍රතිකාර කිරීමට තෙල් එඩරු ශාකයේ කොළ, දළු, මුල්, පොතු, ගෙඩි, ඇට සහ ඇටවලින් සිඳ ගන්නා තෙල් භාවිතා කරයි. එඬරු වාතය හරණය කරන, ශුක්‍ර ශෝධය කරන, ඉදිමුම් නසන, වේදනා ස්තාපනය කරන, ස්වේද ජනක ආදී ගුණ රැසක් සහිතයි. එඬරු යොදා නිපදවන ඒරණ්ඩ නාමය සහිත තෛල, ක්වාත, ප්‍රලේප ආදී ඖෂධ රැසක්ද ඇත. 

කාන්තාවන්ගේ මාස් ශුද්ධිය අපහසුවකින් තොරව සිදු වීමට එඬරු කොළ තම්බා යටි බඩේ එලීම සිදු කරයි. මව්වරුන්ගේ කිරි තදවීම නිසා පයෝදර ඉදිමුනු විට එඬරු කොළ තලතෙලින් අඹරා රත්කර මඳ උණුසුමෙන් ආලේප කිරීමෙන් හා විනාකිරෙන් අඹරා ආලේප කිරීමෙන් කිරි වැගිරී සුවය ලැබෙයි. එමෙන්ම එඬරු කොළ තම්බා ගත් ජලයෙන් හෝ කොළවලින් පයෝදර තැවීමෙන් සුවසේ කිරි එරේ. ඇසට හුණු වැටුන විට එඬරු තෙල් බිංදුවක් ඇස තුලට ගැල්වීමෙන් දැවිල්ල පහව ගොස් සුවය ලැබෙයි. බඩවැලේ වේදනා ඇති විට එඬරු තෙල් ඉඟුරු යුෂ සමඟ පානය කිරීමෙන් වහා සුවය ලැබේ. වාතය අධික වාතරක්තයේදී වේදනාව සමනය කිරීමට එඬරු ඇට මද එලකිරෙන් තම්බා අඹරා ආලේප කරයි. රාත්‍රියට ඇස් පෙනීම දුර්වල විට එඬරු දළු ගිතෙලින් මලවා කෑමට ගත යුතුය. ස්ථූලතාවයට ළපටි එඬරු මුල් හොඳින් සෝදා පිරිසිදු කර රාත්‍රියෙහි මී පැණිවල ගිල්වා තබා උදෑසන මුල් ඉවත්කර පානය කළ යුතුය.  

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු සහ ආයුර්වේද ඖෂධ සංග්‍රහය 
Share:

1 comments:

Upeksha Liyanage said...

මයුරපාද එඬරු බෙහෙවින් භාවිත වේ. http://www.instituteofayurveda.org/plants/plants_detail.php?i=517&s=Family_name

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support