
අක්මා රෝග, ප්ලීහා රෝග, උදරාබාධ, පණු රෝග, කුසගිනි මදිකම, කුෂ්ඨ, උපදංශ, ඇදුම, ඉඳිමුම්, උණ, මුත්‍රඅඩස්සිය, අජීර්ණ, මුඛ රෝග, කර්ණ රෝග, බරවා ආදී රෝග රැසකට ප්‍රතිකාර කිරීමේදී කුඹුරු වැලේ කොළ, දලු, මුල්, ඇට ඇතුළු සම්පූර්ණ ශාකයම භාවිතයට ගනී. කුඹුරු පණුවන් නසන, කුසගිනි වඩවන, රුධිරය පිරිසිදු කරන, මුත්‍රකාරක, කුෂ්ඨ නසන ආදී ගුණයන් රැසක් සහිතයි. පෙරදිග වෛද්‍ය ක්‍රමවල ඇතුලත් චූර්ණ, ක්වාත, තෛල, ලේපන වර්ග රැසක කුඹුරු ඇතුලත්ව ඇත.
උදර වේදනාවට සහ වමනයට කුඹුරු ඇට මදයක භාගයක් සහ කරාබු නැටි දෙක තුනක් ඇල් දියෙන් අඹරා දෙයි. අජීර්ණයට කුඹුරු ඇට මදය පෙරුම්කායම් සමඟ යොදයි. ක්ෂය රෝගයට සහ ඇදුමට කුඹුරු ඇට කෂාය ත් බරවා රෝගයට කුඹුරු කොල යුෂත් බොන්නට දෙයි. ඉදිමුම් සඳහා කුඹුරු අැට මද එඬරු තෙලෙන් අඹරා ආලේප කරයි. පණු රෝගවලට කුඹුරු ඇට මද, ඉඟුරු, සුදුළූණු, වලඟසාල්, සුනු වත්කර බීම හෝ කෂාය ලෙස යෙදීම බහුලව භාවිතා කරන ප්‍රතිකාරයකි. කුඹුරු දලු, දෙහි දලු කොටා උණු අළු පල්ලේ තම්බා යුෂ මිරිකා බීම ද, යක්ෂාක්ෂ්‍යාදී ක්වාතය දීම ද පණු රෝග සඳහා ගුණය. කණෙන් ස්‍රාව ගැලීම, ආමවාතය, සන්ධි ඉදිමුම් ආදියට කුඹුරු ඇට මදවලින් නිස්සාරනය කර ගන්නා තෙල් ආලේප කිරීම ප්‍රතිඵලදායක ය. මුඛ රෝග සඳහා කුඹුරු ඇට මද සහ කරුංකා පුවක් පුලුස්සා, සීනක්කාරම් ද සමඟ සියුම්ව අඹරා දත් මැදීමට භාවිතා කරයි. මහ දලු අනුපානයට කුඹුරු දලු අතුලත් ය.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
සේයාරූ_ අන්තර්ජාලයෙන්
3 comments:
හප්පච්චියෝ..කුඹුරු ඇට නේ..මන් පොඩිකාලේ මට ජීවිතය එපා කල ඇටේ ..අපිට කවදාවත් පණු බෙහෙත් දීලා නැහැ..ඒ කාලේ ඇන්ටිපා කියලා බෙහෙතක් ළමයින්ට දෙනවා.. පැනියක්ලු..පැණි රහලු..පන්තියේ ළමයි කියනවා..අපිට පෙව්වේ කුඹුරු ඇට..ඕක කබලේ බැදලා කෝපි වගේ හදලා පොවනවා..බොන්න බෑ කියලා ගේ වටේ මායි මල්ලියි හත් අට වතාවක් දුවනවා..එක පාරක් අත්තම්මට කිව්වා ඕක පෙව්වොත් මං ලිදේ පනිනවා කියලා..
ඒ වුනාට දැන්නේ දන්නේ මේක රාජකීය බෙහෙතක් කියලා
කුඹුරු කොල කෙහෙන්ද හොයාගන්න පුලුවන්?
horowpathana paththe thiyanawa
Post a Comment