දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Wednesday, April 8, 2015

රත්මල් [Rathmal] (Ixora coccinea)


රත්මල් පඳුරක ස්වරූපය ගන්නා කුඩා බහුවාර්ෂික ශාකයකි. සෙ.මි. 10 ක් පමණ දිග සරල පත්‍ර සම්මුඛව පිහිටයි. මේරු පත්‍ර තද කොළ පැහැයක් ගනී.  පොකුරු වශයෙන් හට ගන්නා පෙති හතරක් සහිත රතු පැහැති මල් අලංකාරවත් ය. ගෙඩි කොළ පැහැති වන අතර ඉදුණු විට කළු පැහැයට හුරු තද රතු පැහැයක් ගනී. ඒවා පළතුරක් ලෙස කෑමට ගත හැකිය. අද වන විට විසිතුරු මල් පැළෑටි ලෙස නවීකරණය කරන ලද රත්මල් ප්‍රභේද රාශියක් හමුවන නිසා ඔෟෂධ සඳහා භාවිතා කරන රත්මල් ශාකය කුමක්දැයි නිවැරදිව හඳුනා ගැනීම දුෂ්කර කටයුත්තක් වී ඇත. Ixora coccinea නමින් අන්තර්ජාලයේ සෙවූ විට ලැබෙන පින්තූර සියල්ලම පාහේ එම විසිතුරු මල් පැල වල ඒවා නිසා ඖෂධ සඳහා රත්මල් භාවිතා කිරීමේදී ඒ ගැන සැලකිලිමත් විය යුතුය. ගෙවත්තේ අලංකාරය සඳහා ද වැවිය හැකි ඖෂධීය රත්මල් ශාකය Rubiaceae කුලයට අයත් ය. 

සමේ රෝග, ළදරුවන්ගේ රත ගාය, රත කුෂ්ඨ, අක්ෂි රෝග, සමෙහි ඇතිවන දිලීර ආසාදන, අවිධිමත් ඔසප්වීම, ආහාර අරුචිය, උගුර වණ වීම, කැස්ස ආදී රෝග තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ශාකයේ මල්, පොතු සහ කොළ යොදා ගනී. රත්මල් පිත සහ සෙම ඉවත් කිරීමට උපකාර වේ. මෙරට ජනයා පුරාණයේ සිට කුඩා දරුවන් නාවන ජලයට මෙම මල් එක් කිරීම සිදුකර ඇත. එය ග්‍රාමීය ප්‍රදේශවල අනිවාර්ය අංගයක් ලෙස අදටත් සිදු කරයි. ඒ මෙම මල්වල පවතින සමේ රෝග සුවකිරීමේ හැකියාව සහ විශබීජ නාශක ගුණය පෙර කල සිටම ගැමියන් දැන සිටි නිසා විය යුතුය.

රත්මල් කොළ සහ පොතු තම්බා ගත් වතුරට සීනි දමා බීමට දීම, රත්මල් පොතු ක්වාතය දීම සහ වදමල් කැකුළු, රත්මල්, රත් හඳුන්, වැල්මී තම්බා ගත් වතුරට සීනි, මී පැණි දමා බීමට දීම රත ගායට ප්‍රතිකාරයන්ය. රත කුෂ්ඨ සඳහා රත්මල් කොළ, උඳුපියලි, කැකුළු හාල් ස්වල්පයක් වතුරින් අඹරා රත කුෂ්ඨයේ ගෑමෙන් සුවය ලැබෙයි. එමෙන්ම මල් අබ කොළ, රත්මල් කැකැළු අඹරා තල තෙලින් ගෑම, රත්මල් කැකුළු පමණක් අඹරා ගෑමද ඒ සඳහා ප්‍රතිකාරයන් ය. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු සහ අන්තර්ජාලයෙන්  



Share:

0 comments:

Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support