දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Wednesday, July 29, 2015

ගැට තුඹ [Geta Tumba] (Leucas zeylanica)


ගැට තුඹ සෙ.මි 50 ක් දක්වා උසට වැවෙන කුඩා වාර්ෂික පැළෑටියකි. ඇතැම් විට පඳුරක් ආකාරයෙන්ද වර්ධනය වේ. කුඹුරු ආශ්‍රිතව බහුලව දැකගත හැකිය. මෙම ශාකයේ පත්‍ර සහ කඳ සියුම් බූවකින් වැසී ඇත. දිගැති පත්‍රයක් සෙ.මි 9 දක්වා දිගු වේ. ද්වීලිංගික වූ පුෂ්ප සුදු පැහැතිය. මෙය මැල්ලුමක් ලෙස මෙන්ම ව්‍යාංජනයක් ලෙසද ආහාරයට ගත හැකිය. බීජ මගින් ව්‍යාප්තිය සිදුවේ. ගැටතුඹ Lamiaceae කුලයට අයත් ශාකයකි.

ආහාර අරුචිය, කුසගිනි මදි කම, උදරාබාධ, හිසදරය, චර්ම රෝග, තුවාල, කරකැවිල්ල, උඳුගොව්වා කෑම, සර්ප විෂ, පිස්සු බලු විෂ ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ශාකයේ කොළ සහ මුල් භාවිතා කරයි. ගැට තුඹ ව්‍යාංජනය පණු රෝගවලට ගුණදායකය. බඩ බුරුලෙන් යන විට ගැට තුඹ ආහාරයට ගැනීමෙන් සුවය ලැබිය හැකිය. තරබාරු බව අඩු කිරීමේ හැකියාවක්ද මෙම ශාකය සතුව පවතී. එළකිරි උණුකරද්දී ගැට තුඹ මුල් දෙක තුනක් එක් කර ගැනීම මගින් කිරි දිරවීමේ පහසුව ඇති කරවයි. ගැට තුඹ වාතය පහ කරන ගුණ සහිතයි.

සෙම්ප්‍රතිශ්‍යාවට සහ කැස්සට ගැට තුඹ මල් දෙමිටක් පමණ ගෙන වතුර අඬු කෝප දෙකහමාරක් පමණ දමා තම්බා පානය කිරීම, අජීර්ණයට සහ බඩබුරුලෙන් යෑමට ගැට තුඹ ගස් දෙකතුනක් හොදින් සෝදා පිරිසිදු කර වනේ කොටා කෙසෙල් කොළයක දවටා උණුඅළු පල්ලේ දමා තම්බා නිවුණු පසු ඉස්ම මිරිකා මී පැණි දමා බීම සහ ගැට තුඹ කුඩා පැළ ගෙන අඹරා තැම්බුම් හොද්දක් සකසා පානය කිරීම, සමේ රෝගවලට ගැට තුඹ කොළ මිටක් ගෙන අමුකහ කැබැල්ලක් දමා කොටා මිරිකා ගත් යුෂ මදක් රත් කර රෝගය පවතින තැන්වල ආලේප කිරීම, බඩ රිදීමට සහ බඩ පිපීමට ගැට තුඹ මුල් සහ බෙලි මල් මිට බැගින් ගෙන පානය කිරීම, සෙංගමාලයට හීනටි සහල්වලින් කැඳ සාදා එයට ගැට තුඹ ගස් කොටා මිරිකාගත් යුෂ එක්කර මඳ වේලාවක් රත්කර පානය කිරීම, කල්ගිය තුවාලවලට ගැට තුඹ කොළ අමු කහ සමව ගෙන තම්බා ගත් ජලයෙන් තුවාලය සේදීම මෙම ශාකය භාවිතා කර සිදුකළ හැකි සරල ප්‍රතිකාර කිහිපයකි. 
Share:

3 comments:

Unknown said...

විශිෂ්ටයි

වෙද ගෙදර මුහම්මද් said...

ඉතා වටිනා තොරතුරු ටිකක්

Anonymous said...

ඔසු තුරු විසිතුරු සමඟ, අත් බෙහෙත් වැඩි තරමක් එක් කළ හැකි නම්, එම දැනුම්වත් බව තුළින් ඔසු තුර රැකැ ගැනීම ට පෙළඹවීමක් ඇති කළ හැකි වේවි! වටිනා තුරු ලිය, අද වන විට ත් නසා- වනසා අවසන් ගමන් යවා ඇති බව ඒවා සොයන විට පැහැදිලි වේ!

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support