දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Monday, September 26, 2016

කරවල කැබැල්ල [Karawala Kebella] (Antidesma bunius)

දේශීයව එකම උද්භිද ගණයට අයත් කරවල කැබැල්ල යනුවෙන් හඳුන්වන ශාක විශේෂ දෙකක් ඇති අතර සුලබව හමුවන්නේ සහ ඖෂධ සඳහා භාවිතා කරන බවට විස්තර වන්නේ Antidesma bunius නම් විශේෂයයි. රතු දත්ත පොතට අනුව එය අඩු තැකීමක් දක්වන ශාකයක් ලෙස නම් කර ඇත. Antidesma puncticulatum යන උද්භිද නාමයෙන් හඳුන්වන ශාකයද කරවල කැබැල්ල ලෙස නම් කර ඇති අතර රතු දත්ත පොතට අනුව එය තර්ජනයට ලක්විය හැකි ශාකයක් ලෙස හඳුනාගෙන ඇත. පොදුවේ Antidesma විශේෂ සියල්ලම පාහේ ඇඹිල්ල යනුවෙන් ද හඳුන්වයි. 

කරවල කැබැල්ල බෙහෝසේ අතු බෙදෙමින් මීටර් 8 ක් පමණ උසට වර්ධනය වන මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. කඳ අළු පාටට හුරු දුඹුරු පැහැතිය. ළපටි කොටස් දුඹුරු පැහැති සියුම් බූවක් සහිත ය. සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍ර අග්‍රය උල් හැඩැතිය. පත්‍රයක් සෙ.මි 15 පමණ දිගු වන අතර සෙ.මි 6 පමණ පළල ය. පුෂ්ප මංජරියක හට ගන්නා කුඩා මල් රතු පැහැතිය. මංසල ඵලය  කහ කොළ පැහැතිය. ඉදෙන විට රෝස, දිප්තිමත් රතු සහ කළු දක්වා වර්ණය ක්‍රමිකව වෙනස් වෙයි. කරවල කැබැල්ල Phyllanthaceae කුලයට අයත් ශාක විශේෂයන් ය. 

මෙම ගෙඩි පළතුරක් ලෙස කෑමට ගත හැකිය. විටමින් C, කැල්සියම් සහ යකඩ බහුල ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුත් පළතුරක් ලෙස සැලකේ. මලබද්ධයට අධිරුධිර පීඩනයට ගුණදායකය වන අතර  ආහාර ජීර්ණ පද්ධතිය මනා සෞක්‍යයකින් පවත්වා ගැනීමට උපකාරී වේ.  කරවල කැබැල්ල ඇතැම් රටවල ව්‍යාපාරික මට්ටමින් වගා කරන අතර ඉදුණු ගෙඩි භාවිතා කර ජෑම්, වයින්, සෝස් ආදිය නිශ්පාදනය කරයි. 

තුවාලයකින් ලේ වහනය වන විට කරවල කැබැල්ල කොළ පොඩි කර තුවාලය මත තැබූ විට ලේ ගැලීම නවතී. කරවල කැබැල්ල දළු මැල්ලුම හෝ ඇඹුල ග්‍රහණි, අර්ශස් රෝග සඳහා යෙදේ. එමෙන්ම සර්ප විෂ, අැස් රෝග ආදියට ප්‍රතිකාර කිරීමේදී කරවල කැබැල්ල ශාක කොටස් භාවිතා කරයි. විදේශීයව මෙම කොළ සිෆිලීස් නම් සමාජ රෝගයට ප්‍රතිකාර කිරීමට භාවිතා කරන බව සඳහන් වේ. 

මූලාශ්‍ර_  සිරි ලක ගස්කොළන් අත් පොත , ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන් 


Share:

8 comments:

Duminda Abeysekara said...

කරවල කැබැල්ල වියළි කලාපීය ශාඛයක්ද ? කුරුණෑගල පැත්තේ නැද්ද?

ජයවේවා!!!

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

තෙත් කළාපෙ හැදෙනවා. මම මේ ෆොටෝ ගත්ත ගහ තිබුනේ නුවර. ඒ නිසා කුරුණෑගල නැති වෙන්න බෑ.

Unknown said...

Me okkoma liyanne oyada? Niyamai eththatama hode, asa hithuna wede dekkama, hodata karanna thawa hithata shakthiyak dennnai oni une....

Unknown said...

Karawala kebella kiyana eka gena man me aurudda wenakal denagana hitiye nehe, Emmbilla nam ape gedarama tibuna podi kale idalama, megamana Horana palathuru pradharshanaya balanna giya welawei karawala kebella gena dena gaththe, eekath ebilla wagemai thamai rasa paata suwada saerama eunata kole lokui godak hede ebilla wala wagema thamai, tikaaak maansala gathiyak tiyenawa (2kata nemuwama kadala yana gathiyak tiyenwa anika dilisenawa mathupita uda yata 2pasama, gedith poddak lokui anika krale pokuru gathiya tikak adui (piruna gathiya nehe ebilla wala tharam, eekanam samahara wita gaswala poshanaya matha wenas wanawa viya heki), anika pathra ebilla wala tharam thada kola peheyak nehe lakola kaha pata gathiyak tiyenne, delubellamata, visithuru kola sadaha waga karana mal gahak wage.

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

ඔව් මම ලියන්නේ. දිරිමත් කිරීම ගැන බොහොම ස්තුතියි ඔබට.

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

Antidesma කියන උද්භිද ගණයට අයත් දේශීය ශාක විශේෂ 6 ක් පමණ අපේ රටෙන් හමුවෙනවා. එයින් දෙකක් අප රටට ආවේනිකයි. මේ සියල්ලම ඇතැම් ලක්ෂණ වලින් සමානයි. ඒ වගේම මේ සියල්ටම පොදුවේ ඇඹිල්ල කියනවා. මේ ලිපියේ විස්තර කර ඇති ශාක දෙකට අමතරව Antidesma alexiteria ශාකයට හීං ඇඹිල්ලත්, Antidesma ghesaembilla ශාකයට බූ ඇඹිල්ලත්, Antidesma comptum නම් අප රටට ආවේනික ශාකයට තිඹිලිය කියාත් කියනවා. ඊට අමතරව සිංහල නමක් සඳහන් නොවන Antidesma pyrifolium නම් අප රටට ආවේනික ශාකයකුත් තියෙනවා. මේ සියල්ල හැරුනුවිට අපේ රටට හඳුන්වාදී ඇති මල්බෙරි නමින් හඳුන්වන Morus alba නම් විදේශීය ශාකයටත් ඇතැම් ප්‍රදේශවල ඇඹිල්ල කියනවා. ඔබ කියන ඇඹිල්ල වර්ගයත් මෙයින් එකක් විය යුතුයි.

Unknown said...

ඔය කරවල කැබැල්ල ,අපේ පලාතේ තියෙන්නෙ ඕන තරම්..මම කුලියාපිටියේ .

danu141 said...

කුරුණගල හදන්න පුළුවන්, මන් පැලයක් හදනවා දැන් මල් ඇවිත් පලවෙනි පාරට, හදන්න පුලුවන් තරම් දේශීය පැල...

Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support